සමාජ අඩවියක ගිණුමක් පවත්වාගෙන යාම අරුමයක් නොවන බව සත්‍යයකි. නමුදු එවැනි සමාජ අඩවි හරහා ඉවක් බවක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය විදහා පාන අපේ එවුන් ගැන දැක්කම සිතෙනුයේ පොලොව පලාගෙන යාමටය. වැසිකිළිය ඉස්මත්තේ ගසන සෙල්ෆිය, නයිටිය පිටින් ගසන සෙල්ෆිය, සංසර්ගයේ යෙදෙන විට ගසන සෙල්ෆිය සමාජයට මුදා හැර තඹ දොයිත්තුවක් නොවටිනා ලයික් එකකට, කමෙන්ට් එකකට හිරි ඔතප් දන් දෙන ගෑණු පිරිමි දුටුවම ඔවුන් මානසික විපරිත භාවයකට ලක් වී ඇති බව පැහැදිළිව හඳුනාගත හැකිය. අවුරුදු 16 - 17 දී සමාජ අඩවියක ගිණුමක් ආරම්භ කොට දෛනිකව සිදුකරන සෑම දෙයක්ම ලෝකයට පෙනෙන්ට අප්ලෝඞ් කර තමන්ගේ පෞද්ගලිකත්වය නැති කරගන්නා මොවුන් විවාහයෙන් පසුව දරුවා බඩට ආ දින සිට ඉවක් බවක් නැතිව දරුවාගේ පෞද්ගලිකත්වය ද වෙන්දේසියේ දමා කාබාසිනියා කරති. දරුවා ගෙදරට ගෙන ආ දවස, පළමු උපන් දිනය, කන් විදපු දවස, ඉස්කෝල් ගිය දවස, කොටහඵ මගුල ආදි ලෙස රොත්ත පිටින් සමාජ ජාල වලට, ලෝකයට, අප්ලෝඞ් කරති. මේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය බව මොවුන්ට අමතකය. තමන්ගේ ලෙයින් ජාතක වුණු පුංචි කොල්ලව, කෙල්ලව ෂෝකේස් එකක දැමූ සෙල්ලම් බඩුවක් බවට පත් කරන බව මොවුන්ට අමතකය. යට ඇදුමටත් වඩා කොට රෙදි කැබැල්ලක් අන්දවා විවිධ කෝණවලින් “මගේ දුවගේ පුතාගේ හැඩ බලපල්ලා” කියා ලෝකයාට අඩ ගසන දෙමාපියන්ට අද ඒවායේ ඵල විපාක විඳීමට සිදුව ඇත.
වෙනස් විය යුතු කාලය පැමිණ ඇත. පවුල යනු කුඩා ලෝකයකි. එහි දුක, කදුල, සතුට, සිනාවෙහි අයිතිකාරයන් ඒ පවුලේ අය පමණක් විය යුතුය. පුංචි දුවගේ පුතාගේ, විශේෂ අවස්ථා පවුලේ මතකයන් ලෙස පමණක් තබා ගන්න. ඔබ හැබැහින්වත් දැක නැති කොල්ලන්ට බල්ලන්ට ඒ දරුවාගේ, දැරිවිගේ උපන් දිනයවත්, කොටහඵ මගුලවත් වැදගත් නැත. උන්ට අවශ්‍ය ඒ පොඩි එකාගේ, පොඩි එකීගෙ, අග පසගය. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ දුව, පුතාව උන්ට සමාජ ජාලයෙන් වෙන්දේසි කර ඇත, සිල්ලරට විකුණා ඇත. බල්ලන් ලගින කූඩුවකට මස් කැබැල්ල විසිකර ඇත්තේ ඔබමය. උපන්දා සිට මස් කෑල්ලක් වෙනුවෙන් ඉව අල්ලන බල්ලෝ මස් කෑල්ලට පොරකමින් මස් කැබැල්ල කීතූ කීතු කරමින් සිටියි. බල්ලන්ට බැනවැදීමෙන් ප්‍රයෝජනයක් නැත. ඒ කකුල් දෙකේ බල්ලන්ට බලූ වැඩ කිරීමට ඉඩ හසර ලබා දී ඇත්තේ ඔබමය. මේ වන තෙක් ඔබගේ දරුවා සුරක්ෂිතව සිටිනු ඇත. නමුත් ඊළග මොහොතේ, හෙට උදෑසන, ඔබගේ දරුවා ඒ පාපතරයින්ට හසු වීමට ඉඩ ඇත.
සිතන්න.
Comments
Post a Comment